Wednesday, November 26, 2014

සදහිරු සෑය


යුද ජයග්‍රහණය සමරමින් අනුරාධපුරයේ ඉදිවන සඳහිරු සෑයේ ධාතුන් වහන්සේලා 2014 නොවැම්බර් මස 23 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් තැන්පත් කරන ලදහ.
මහා සංඝයා වහන්සේලා 6500 නමකගේ පිරිත් සඡ්ඤායනා මධ්‍යයේ ධාතූන් වහන්සේ තැන්පත් කිරීම සිදු කරන ලද අතර මෙරට විහාරස්ථානවලින් ලබා ගන්නා ලද ‍‍ඓතිහාසික ධාතූන් වහන්සේලා රුවන්වැලි සෑයේ ක්‍රමය අනුගමනය කරමින් සඳහිරු සෑ ගර්භයේ තැන්පත් කරන ලදි.
පැරණි චාරිත්‍ර විධි අනුගමනය කරමින් කප් සිටුවීම ඇතුලු සිරිත් විරිත් රැසක් ධාතූ තැන්පත් කිරීමට පෙර සිදු කරනු ලැබු අතර නොවැම්බර් 15 සිට 22 දා දක්වා මහා සංඝයා වහන්සේලා විසින් පිරිත් සඡ්ඤායනා කරනු ලැබුහ. ශ්‍රී පාදස්ථානාධිපති ස්වාමීන් වහන්සේ පිරි නමා ඇති වටිනා මැණිකක් තුළ මෙම ධාතූන් වහන්සේ තැන්පත් කරනු ලැබු අතර කිලෝ 12 ක් වටිනා රනින් කරන ලද පිළිම වහන්සේ නමක්, උන්වහන්සේට සෙවණ දෙන රන් බෝධීන් වහන්සේ නමක් මෙන්ම රන් චක්‍රයක් ද මෙහි අන්තර් ගතය.
අනුරාධපුරයේ රුවන්වැලිය, ශ්‍රී මහා බෝධීය ආසන්නයේ දුටුගැමුණු එළාර දෙදෙන මුහුණට මුහුණ මුණ ගැසුණු භූමිය බවට ඉතිහාසයේ සඳහන් වන ප්‍රදේශයේ දී ඉදි කෙරෙන මෙම සෑයේ සම්පුර්ණ උස අඩි 280 ක් වන අතර විශ්කම්භය අඩි 255 ක් වේ. වටප්‍රමාණය අඩි 802 ක් වන මෙය ඉදි කිරීමෙන් අනතුරුව ලංකාවේ විශාලත්වයෙන් වැඩි සෑයන් අතර හතරවැනි ස්ථානයට පත්වන චෛත්‍යය වේ.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ත්‍රිවිධ හමුදාව, පොලිසිය මෙන්ම මෙරට ධානපතීන්ගේ උපකාර හා ශ්‍රමදායකත්වය මත මෙම චෛත්‍යය ඉදි කෙරේ.
මෙම ස්ථූපය සඳහා ගඩොල් මිලියන 30 ක් හා සිමෙන්ති කොට්ට 40,000 ක් පමණ වැයවෙතැයි ගණන් බලා ඇත. මෙම ස්ථූපය පළලින් අඩි 255 ක් වන අතර උසින් අඩි 279 කි. මෙම සදහිරු සෑය ස්ථූපය ඉදිකිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් මිට ඉහතදී රුපියල් මිලියන 25 ක් පරිත්‍යාග කරනු ලැබ ඇත.
අතීතයට ගරු කරමින් රුවන්වැලි මහා සෑයට තරමක් මිටි කර ඉදි කරන මෙම සෑයේ විශේෂත්වය වන්නේ විශාලම ශෛලමය කලාගාරය මෙම චෛත්‍යයේ ඉදිවෙන බැවිනි. සෑයේ සලපතල මළුව හා වැලිමළුව අතර ප්‍රකාරයේ සතර දෙසට අඩි 400 ක් බැගින් වු ප්‍රදේශයේ ගලින් නෙලන ලද කැටයම් නිර්මාණය කෙරේ. මෙහි දසපාරමිතා දැක්වෙන ජාතක කතා අවස්ථා, බුද්ධ චරිතයේ විවිධ අවස්ථා, බුදුදහමේ විකාශය,ඉතිහාසය, ලංකාවේ ශාසන ඉතිහාසය මෙන්ම යුද්ධය අවසන් කිරීම දක්වා වු විවිධ අවස්ථා නිර්මාණය කිරීමට කටයුතු යොදා තිබේ. මේ අවස්ථා සියල්ල මැදගම අභයතිස්ස හිමියන් විසින් රචනා කරන අතර කලාකරුවෝ ඒ රචනා චිත්‍රයට නඟනු ලබන අතර එම චිත්‍ර මැටියෙන් නිර්මාණය කිරීමෙන් අනතුරුව ගලෙන් නෙලීමේ කටයුතු සිදු කෙරේ.
මෙම සෑයේ ධාතූන් වහ‍න්සේ තැන්පත් කිරිම පැරණි චාරිත්‍ර වාරිත්‍ර අනුව සිදු විය.
මෙම සෑය ඉදිකිරීමේදී රුවන්වැලි මහාසෑය ඉදි කරන අවස්ථාවේ 9 වරක් එය නැවත නැවත පොළොවට ගිලා බැස්සවීමෙන් සෑයේ ශක්තිමත් බව රඳවා ගන්නට කටයුතු කළාක් මෙන් අඩි 45 ක් පිහිටි ගලේ සිට පොළොව දක්වා ශක්තිමත්ව මෙහි අඩිතාලයම දමාඇත. මේ සඳහා පැරණි ක්‍රමයට අනුව ගඩොල් සකස් කරනු ලබන අතර දවසකට එක ගඩොල බැගින් බඳිමින් මෙය වටා ඉදිකිරිම් කටයුතු සිදු කෙරේ.
මේ වන විට අඩි 42 ක් දක්වා ඉදිකිරිම් කටයුතු අවසන් කර ඇති අතර ධාතූ නිදන් කිරිමේ අවස්ථාව මෙය රටට, ජනතාවට ඉතා වටිනා අවස්ථාවක් විය. ජාති ආගම් කුල භේදයෙන් තොරව යුද්ධයෙන් මිය ගිය සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණෙන් මේ සෑය ඉදි කරන බවත් එහි සම්පුර්ණ ඉදිකිරීම් කටයුතු තව වසර දෙකකින් පමණ නිම වනු ඇත.
උපුටා ගැන්ම,


No comments:

Post a Comment