Friday, November 28, 2014

අනුරපුර කැළඹ වු සිද්ධි

කැබිතිගොල්ලෑව බස් බෝම්බ ප්‍රහාරය වැරදීමකින් එල්ලවු ප්‍රහාරයක් බව එම ප්‍රහාරය එල්ල කිරීමට සමබන්ධ වු හිටපු එල්ටීටීඊ සමාජිකයෙකු පාපොච්චාරණය කරයි.

අනුරාධපුර විශේෂ මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු සහ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ඉදිරියේ මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් පාපෝච්චාරණයක් ලබා දෙමින් මෙම නඩුවේ ප්‍රධාන විත්තිකාර හිටපු කොටි ප්‍රබලයකු වන මහාලිංගම් මුත්තුලිංගම් හෙවත් ඉන්ද්‍රන් මේ බව කීවේය. මුතුර්, කිලිනොච්චි, තංගනගර් ලිපිනයේ මහාලිංගම් මුත්තු ලිංගම් හෙවත් ඉන්ද්‍රන් (36) නමැති හිටපු ප්‍රබල කොටි සාමාජිකයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් අනුරාධපුර විශේෂ මහාධිකරණයට ලබාදී ඇති එම පාපෝච්චාරණය මෙසේය.


මට කිව්වා ගහක් උඩට නැඟලා ආමි වාහනයක් එනවනම් කියන්න කියලා. මම එතන තිබ්බ ගහකට නැග්ගා. ඒ ගහ උඩ ඉන්න විට තාර පාර දිගේ මීටර් 200ක් විතර අෑත දුර පේනවා. පාර දිගේ අෑතින් එන වාහනත් පේනවා. මේ වන විට උදේම ඉරත් පායලා තිබුණේ. වට පිටාව හොඳට පේනවා. මේ විදිහට මම ගහ උඩට නැඟලා ආමි ට්‍රක් එකක් හෝ බස් එකක් හෝ වෙනත් වාහනයක් එනවද කියලා බලාගෙන ඉන්න කොට කහ පාට බස් එකක් එනව මීටර් දෙසීයක් විතර ඈතින් දැක්කා. එවිටම හරි හරි කහ පාට බස් එකක් එනවා කහ පාට බස් එකක් එනවා කියලා මම කෑ ගැසුවා. ඒ අතරේ මම දැක්කා ඒ එන කහ පාට බස් එකේ සුදු ඇඳුම් ඇද ගත්ත සිවිල් ගැහැනු අය ඉන්නවා වගේ.

ඒ ගමන්ම මම නැවත කෑ ගැසුවා ගහන්න එපා ගහන්න එපා සිවිල් බස් එකක් සිවිල් බස් එකක් කියලා. එහෙම කෑ ගසනවාත් සමඟ ක්ලේමෝ බෝම්බ පුපුරුවා හරින රිමෝට් එක අතේ තියාගෙන පාර අයිනේ කැලයක ගසක් මුල සැඟවී සිටි කොටි කෙල්ලෝ දෙන්නගෙන් එක්කෙනෙක් රිමෝට් එක තද කළා. එවිට බෝම්බ දෙකම පිපිරුවා. විශාල ශබ්දයක් ඇසුණා. අපි පැනලා වේගයෙන් කැලයට දිව්වා. ඒ ගමන්ම දවස් දෙකක් කැලේ මැදින් අපේ කොටි කෑම්ප් එකට ගියා. අපි ක්ලේමෝ ගහලා පිපිරුවේ මොන බස් එකක්ද ඒකේ කවුද හිටියේ කියලා හරියටම දැක්කේ නැහැ. අපේ කොටි කෑම්ප් එකට ගියාට පස්සේ තමයි අපි දැන ගත්තේ අපි බෝම්බ ගහලා තියෙන්නේ සිවිල් මිනිස්සු යන ලංගම බස් එකකට කියලා. කොටි කර්නල් ලලිත් අපිට කිව්වා උඹලා බෝම්බ ගහලා තියෙන්නේ වැරැදි බස් එකකට කියලා. ඒ නිසා උඹලට පනිෂ්මන්ට් දෙන්න ඕන කියලා කිව්වා. පසුව අපි වැරැදි බස් එකකට බෝම්බ ගැහැව්වා කියලා අපි සමඟ වැඩේට ගිය කෙල්ලෝ දෙන්නා හැර පිරිමි හැමෝම යකඩ කටු කම්බි කූඩුවක දාලා දවස් අටක් තිබ්බා. පොලුවලින් හොඳටම ගැහැව්වා. අපි දාලා හිටිය කූඩුව ඇතුළේ කටු කම්බි තිබුණා. නැඟිටින්න නිදා ගන්න බැරි විදියේත් කූඩුවක් ඒක.දින කිහිපයකට පස්සේ අපි පාලමොට්ටේ බංකර් කපන්න දැම්මා. පසුව නැවත කෑම්ප් එකට ගත්තා.

පසුව නැවත ඩිපෙන්ස් ලයින් එකකට දැම්මා. එතන ඉන්නකොට මම බීඩියක් බීලා අහුවෙලා නැවත පනිෂ්මන්ට් දුන්නා. පසුව ඇල්පාවන් බේස් කෑම්ප් එකට ඩියුටි දැම්මා. එහේදි මම කොටින්ගෙන් මිදිලා පැනලා ගියා. එහෙම පැනලා කනකරායන්කුලමට ආවා. එතකොට 2007 වසරේ මුල වගේ. ඊට පස්සේ පවුලත් එක්ක පුදුකුඩුඉරිප්පු ගියා. එහේ පදිංචි වෙලා කුලී වැඩ කරන අතරේ ඒ ප්‍රදේශයෙන් යුද්දේ පටන් ගත්තා. පසුව පවුලත් එක්ක 2009.05.14 රජයේ හමුදා පාලන ප්‍රදේශයට ගියා. එහි අවතැන් කඳවුරුවල ටික කාලයක් ඉඳලා මුතූර් තංගනගර් ගමට ආවා. ඒ වන විට මීට පෙර කැබිතිගොල්ලෑවේ යකාවැවදී මගී බසයකට බෝම්බ ගහලා මිනිස්සු මැරුවේ අපි කියලා මම බිරියට කියලා තිබුණා.

තංගනගර් ගෙදර බිරිය සමඟ පදිංචිව සිටින අතරේ බිරිය මම සමඟ රණ්ඩු වුණා. ඊට පස්සේ බිරිය මම සමඟ රණ්ඩු වුණා. තරහට සේරුනුවර පොලිසියට ගිහින් කිව්වා කැබිතිගොල්ලෑවේ යකාවැව බස් බෝම්බ සිද්ධියට මම සම්බන්ධයි කියලා. පසුව සේරුනුවර පොලිසියෙන් මාව අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට බාර දුන්නා.


2006
වසරේ ජුනි 15 වන දින මඟින් 133 දෙනකු රැගෙන යමින් සිටියදී  කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් ලංගම බස් රථයකට ක්ලේමෝ බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වු අතර  ඉන් සිවිල් වඅසියන් 68 දෙනෙක් ඝාතනයට ලක්විය.

Wednesday, November 26, 2014

වර්තමාන අනුරාධපුර

     

මිස්සක පව් ගිර පෙනෙන ඉම, රන් වැලි සෑ කොත් දිලෙන බිම, එමතු ද නොව අනේක විධ සංස්කෘතික දායාදයන් ගෙන් හෙබි අනුරාධපුරය, එදා මෙදා තුර නෙක විසිතුරු පාන්නීය.

මිහින්තලා කඳු මුදුනින් ගලා ආ බුදු දහම මෙරට පළමුව කේන්ද්‍ර වූයේ අනුරාධපුරයේ ය. එහෙයින් එදා මෙදා තුර ශ්‍රී ලංකා ද්වීපයෙහි ගොඩනැඟුණු සංස්කෘතියේ, රන් හදවත අනුරාධපුරයම වේ. මෙම පරම පූජනීයත්වයට පත් පිං බිම පියකරු පුරවරයක් කරන්නට වෙහෙස වූවෝ අපමණය. ඈත අතීතයේ පැවතියාක් මෙන්ම අදටත් අනුරපුර මනස්කාන්තව බැබළෙන්නේ, එය පියකරු කරන්නට කා‍ලෝචිත නවාංග එපුර පුරාවට එකතු කළ නිසාමය.

අනුරාධපුර පදනම් කරගෙන වට රවුම් සංස්කෘතියක් ගොඩ නැඟෙන තරමේ විශේෂතා රැසක් දක්නා ලැබේ. විශේෂයෙන්ම  මෙම නගරය ශ්‍රී ලංකා‍වේ වැඩිම වට රවුම්  සංඛ්‍යාව ඇති නගරය ‍බැව් අවිවාදිතව කිව හැකිය.  පූජා නගරය  ඇතුළු නගර සීමාව තුළ වට රවුම් 18ක් පමණ පවතින බව අනුරාධපුර නාගරික කොමසාරිස්  සම්පත් රෝහණ ධර්මදාස මහතා පවසයි. 13කට පමණක් සීමා වී තිබු වට රවුම් සංඛ්‍යාව 18ක් දක්වා මේ වන විට වැඩිකර තිබේ. මෙලෙස වටරවුම් සංඛ්‍යාව වැඩි කරන්නේ ඇයි දැයි කෙනෙකුට හැඟෙන්නට පිළිවන. වර්ෂයේ සෑම කාලසීමාවකම මහජනතාව නොමඳව ගැවසෙන නගරයක් ලෙසත්, දිවයිනේ නන් දෙසින් පැමිණෙන රථ වාහනවලින් පිරුණු නගරයක් ලෙසත් නම් දරා ඇති මෙම නගරයේ ඇතිවන දැඩි රථ වාහන තදබදය අවම කිරීමට මෙම වට රවුම් හරහා සහය ලැබී තිබේ. එමෙන්ම ඇතිවන රිය අනතුරු මගී අනතුරු ආදිය ද  අවම මට්ටමක පැවතීමට විධිමත් නගර සැලසුම්කරණය හමුවේ ‍ගොඩනගා ඇති වටරවුම්වලින් ද ඉහළ පිටු බලයක් ලැබී ඇත.

 
මෙම වටරවුම් අතර ප්‍රධාන වටරවුම් කිහිපයකි. ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වට රවුම, ඩී.එස්. සේනානායක, සිංහ කණුව, කොබ්බෑකඩුව, ආයුර්වේද, පළාත් සභා වට රවුම ආදී වශයෙන් වර්තමාන ව්‍යවහාරයේ පවතින වට රවුම් අනුරාධපුර නගරයේ පවතින ප්‍රධාන වටරවුම් කිහිපය ලෙස ගණන් ගැනේ.


ඒ අතරතුර වට රවුම් පිළිබඳව සාකච්ඡා කළ යුතු වැදගත් ම කාරණය වන්නේ එය නගර අලංකරණයට දක්වන දායකත්වයයි.හෝරා මාපකයකින් හෝ ඓතිහාසික  සිහිවටනයකින් හෝ දේශමාමක පුද්ගලයකුගේ රුවකින් ආදී  වශයෙන් විවිධ නිරූපණයන්ගෙන් හැඩවන වට රවුම් අනුරාධපුර නගර කුමරිය සරසන ආභරණ බඳුය. ඓතිහාසික ශ්‍රී විභූතිය වර්තමාන ජනතාවට කියා දෙන්නට මෙම වටරවුම් හරහා ද උත්සාහ දරා ඇත. ඒ අතුරින් සම්බුද්ධත්ව ජයන්ති වටරවුම පිළිබඳව කරුණු කීම කාලෝචිතය. ඉතා මනරම් ශිලා ස්ථම්භයක් දක්නට ලැබේ. මෑත කාලීන ප්‍රතිසංස්කරණවලදී  එම ස්ථම්භය කරවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් විවෘත කරනු ලැබුවේ, 2600වන සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කර ගෙනය. අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති උතුරු හා උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පණ්ඩිත නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන්ගේ අදහසක් අනුව මෙම සම්බුද්ධත්ව ජයන්ති ශිලා ස්ථම්භය ඉදිකෙරිණි. ඒ සඳහා පූර්ණ ධන පරිත්‍යාගය ලබා දී ඇත්තේ ලංකා බැංකුව මගිනි.

ඓතිහාසික අනුරාධපුරයේ ප්‍රතාපවත් බව කියා පාමින් කණ්ඩුල ඇතු මතින් දුටු ගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය දෙසට ගමන් කරන විලාසයක් පෙන්වන අපූර්ව නිමැවුමකින් අලංකාරවත් කර ඇති පළාත් සභා  ‍වට රවුම ද මන බඳනා එකකි. සුරපුරය’’ ලෙස නම් කරන අනුරාධපුර ප්‍රධාන දේශපාලන මධ්‍යස්ථානය වන නව පළාත් සභා ගොඩනැගිල්ල අභියස තිබෙන මෙම පිළිරුවෙන් අතීතය හා වර්තමානය අපුර්ව ලෙස ගලපා ‍එය සෞන්දර්යාත්මකව ජනතා මනසට එකතු කරයි.  එය එතැනින් යන එන ඕනෑම කෙනෙකුගේ සිත් පැහැරගන්නා දර්ශනයකි.

ආයුර්වේද වටරවුමේ දිස්වන රුව පරාක්‍රමබාහු රජතුමාගේ ය. පුස්කොළ පොතක් අත තබා සිටින්නේ යැයි විරුදාවලි ලබන පැරකුම් නරේන්ද්‍රයාණන්ගේ  අනුරුවක් සමඟ ආයුර්වේද රෝහල ගැලපීමේ දී ඒ දෙතැනින්ම අපේ අතීතයට ගමන් කළ හැකිය.  අනුරාධපුර  දුම්රිය ස්ථානය පසුකර පුජා නගරයට ප්‍රවිෂ්ඨ වන ස්ථානයේම  පිහිටා ඇති සිංහ කණුව අනුරාධපුර අටමස්ථානය වන්දනා කරන්නට යන කාගේත් නෙත ගැටී ඇතිවාට සැක නැත. මනරම් ශිලා ස්ථම්භය මුදුනෙහි පිහිටුවා ඇති සිංහ රුව හෙළදීපයේ ප්‍රෞඪත්වයේ සංකේතයක් බඳුය.

 
අතීත සමාජ, ආර්ථික දේශපාලනික ස්වභාවයන්, මතුවන ආකාරයේ නිරූපණයන් සහිත වටරවුම් සේම, මෑත ඉතිහාසයේ තත්ත්ව මතු කරන නිරූපණයන් ද ‍ අනුරාධපුර වටරවුම් සංස්කෘතිය පිරික්සීමේ දී හිඟ නැත.

අනුරපුර රෝහල අසල ඇති, කොබ්බෑකඩුව වට රවුම ඊට කදිම නිදසුනකි. දැනටත් ඉතා අලංකාරවත් ලෙස නඩත්තු කටයුතු පවත්වාගෙන යන මෙහි මෙරට පැවැති කුරිරු යුද්ධයේ දී රට වෙනුවෙන් දිවි පිදූ අභීත සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ පිළිරුවක් පිහිටුවා තිබේ.

අනුරාධපුර නගර මධ්‍යයේ දක්නට ඇති අනෙක් වැදගත් අලංකාරවත් වටරවුම සාමාන්‍ය ව්‍යවහාරයේ දී ඩී.එස්. වට රවුම ලෙස නම් කරයි.  නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා හෙවත් ජාතියේ පියා ලෙස බුහුමන් ලබන ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුව නගරයට අමුතු ගාම්භීරත්වයක් එක් කරයි. එතුමාගේ ජනතා සේවය සැමරීම වෙනුවෙන් රජරට ගොවි ජනතාව විසින් පිහිටුවන ලද බව එම පිළිරුව පාමුල සඳහන් කර තිබේ. මේ හැරුණු කොට  නගර මධ්‍යයෙන් ඔබ්බෙහි තවත් වටරවුම් කිහිපයක් ද පූජා නගරය කේන්ද්‍ර කරගෙන තවත් වටරවුම් කිහිපයක්ද දැකිය හැකිය.


මේවා මේ තරමට ම විසිතුරු ලෙස පෙනෙන්නට සලස්වන්නේ කවුරුන්දැයි කාටත් පැනයකි. නමුත් මේ සා විශාල කාර්යභාරයක් සඳහා රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකම ඉහළ වුවමනාවකින් මැදිහත්ව සිටී. බොහෝ දුරට මෙම වටරවුම් නිමවා වර්ෂය පුරා නඩත්තු කරන්නේ නගරාලංකරණය අපේක්ෂා කරන කිසියම් පෞද්ගලික ආයතනයකිනි. ඒ අනුරාධපුර නගර සභාව සමඟ පුර්ණ ගිවිසුම්ගත වීමක් සහිතවය. මේ දිනවල වටරවුම් ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩපිළිවෙළක් ද අනුරාධපුර නගර සභාව, නාගරික සංවර්ධන අමාත්‍යංශය ආදිය  රාජ්‍ය ආයතන ඒකාබද්ධ වෙමින් ආරම්භ කර තිබේ. එහි ආරම්භයක් ලෙස ඩී.එස්. වටරවුම හා ලංකා බැංකු වටරවුම මේ වනවිටත් අලංකාරවත් ලෙස ප්‍රතිසංස්කරණය කර පවත්වාගෙන යයි. මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ දී එක් වට රවුමක් සඳහා ලක්ෂ 8ක පමණ මුදලක් වැය වන බවද අනුරාධපුර නාගරික කොමසාරිස්වරයා සඳහන් කළේය.
 
වර්තමාන රජයෙහි මහින්ද චින්තන ඉදිරි දැක්මේ 20 පිටුව තුළ ඇති සඳහනක් සිහිපත් වේ. අපේ රටේ ශිෂ්ටාචාරය ගොඩනැඟුණේ මෙත්තාව, මුදිතාව, කරුණාව තුළිනි.යනුවෙන් එහි සඳහන් ව ඇත. එමෙන්ම එහි විසි දෙවන පිටුවෙහි අතීත අභිමන හෙටටත්යන හිසින් යුක්තව මෙසේ සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාවේ සියලු අතීත හා ජාතික උරුමයන් සුරක්ෂිත කොට අනාගත පරපුරට දායද කිරීම ර‍ජයේ ප්‍රමුඛ වගකීමක් ලෙස සලකන්නෙමි.

 
එම ප්‍රකාශවලින් නොනැවතී ඓතිහාසික ශ්‍රී විභුතිය ද එලෙසම සුරක්ෂිත වන පරිදි අනුරාධපුරය වැනි මිහිඳු සංස්කෘතියේ සමාරම්භය සනිටුහන් කළ පුණ්‍ය භූමියක අලංකාරය හා ඓතිහාසිකත්වය යන දෙඅංශය ම සුරක්ෂිත කරමින් සිදුකරන වටරවුම් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අගය කළ මනාය. මේ වෙනුවෙන් කැපවන නගරාධිපතිවරයා, එහි අනෙකුත් දේශපාලන අධිකාරියේ මැදිහත්වීම අගය කළ මනාය. විශේෂයෙන්ම අනුරාධපුර පරිපාලනයේ මුදුන තමන් බව තේරුම් ගෙන නිරතුරුවම අතීත සංස්කෘතිය සිහිගන්වන අතරතුර එය සුරකිමින් අනුරාධපුරය කාලීනව හැඩගැස්වීමට සාර්ථක වෙහෙසක නිරතවන අනුරපුර මහ දිසාපති මහින්ද සෙනවිරත්න මහතාගේ මැදිහත්වීම ද අගය කළ යුතුය.

අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාසාභිධාන නාහිමියන්ගේත්, රුවන්වැලි චෛත්‍යාරාමාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ උපදෙස් අනුශාසනා මෙම කටයුතු සාර්ථක වීමට ආශිර්වාදයකි.
අනුරාධපුරය ඉහළට ඔසවා තැබීමට වෙර දරන සියලුම පිරිස් එකට එක්ව නිතර සාකච්ඡා කර සාර්ථක සම්මුතින්වලට එළැඹීම හරහා එකමුතුකම ප්‍රදර්ශනය කිරීම නගරය සංවර්ධනය වීමට මූලික හේතුව වී තිබේ. කඩිනමින් ප්‍රතිසංස්කරණය වන අනුරපුර වටරවුම් සංස්කෘතියේ අලුත් වීමද රටට කියාපාන්නේ නව නගර සංවර්ධනයේ  විශිෂ්ටත්වයයි.


ෂෙල්ටන් බණ්ඩාර
ප්‍රවෘත්ති නිලධාරී - අනුරාධපුරය

අනුරාධපුර නගරය.
බස් නැවතුම් පොළවල් දෙකකින් සහ දුම්රියපොළ දෙකකින් සමන්විත අනුරාධපුර නවනගරයට පිවිසුම් මාර්ග හතරක් සදහන් කළහැක. මීගමුව පුත්තලම හරහා එන අංක 4 බස්මාර්ගය පළමුවැන්නයි. කුරුණෑගල මහව හරහා එන 57 බස් මාර්ගය දෙවැන්නයි. දඹුල්ල හරහා එන බස් මාර්ගය කැකිරාවේදී දෙකට බෙදී එක් මාර්ගයක් මරදන්කඩවල හරහාද අනෙක් මාර්ගය එප්පාවල හරහාද අනුරාධපුරයට ළගාවෙයි.අනුරාධපුර නගරයේ එකම පිරිමි පාසැල ශාන්ත ජෝශප් විද්‍යාලය වන අතර එකම බාලිකා පාසැල ස්වර්ණපාලී බාලිකා පාසැලයි. මධ්‍ය විද්‍යාලයක්ද නිවත්තකචේතිය හා වලිසිංහ හරිස්චන්දර මහා විද්‍යාලයද අනුරාධපුර නගරයේ පාසැල්ය. සහිරා මුස්ලිම් විදුහලද විවේකානන්ද දමිළ පාසැලද අනුරාධපුරයේ පාසැල් අතර දැකියහැක. නුවර වැව තානායම සහ ගැල්වේ මිරිදිය යන සංචාරක හෝටල් දෙක සහ තවත් බොහෝ නවාතැන්පොළවල් අනුරාධපුරයේ දැකියහැක. සැම රාජ්‍යය සහ පුද්ගලික බැංකුවක්ම අනුරාධපුර නගරයේ ඇති අතර ශික්ෂන රෝහලක් සහ පුද්ගලික රෝහලක්ද යුදහමුදා රෝහලක්ද ඇති අනුරපුර නග‍රයේ ආරක්ෂාවට මූලස්ථාන පොලීසියක් සහ යුද නාවික හා ගුවන් හමුදා කදවුරු ද ගුවන් හමුදාව සතු ගුවන් තොටුලපක් ද දැත. සල්ගාදු බේකරිය සහ ච්න්තන සමුහ ව්‍යාපාරයද පැමිලි බේකර්ස් ද ලෙස කදිම බේකරි 3ක් මෙම නගරයේ දැකියහැකි අතර සෑම ජංගම දුරකතන සමාගමකම සහ ස්ථාවර දුරකථන සමාගමකම ශාකා මෙම නගරයේ ඇත. අනුරාධපුර මහ නගර සභාවෙන් පරිපාලිත නගරයක් වන අනුරාධපුර නවනගරය දිනෙන් දින දියුණුව‍ට පත්වෙන නගරයකි.  

අනුරාධපුර නගර සංවර්ධනය හා අලංකරණය පිළිබඳ සාකච්ඡාවක්

නගර සංවර්ධනය පිළිබඳ දේශපාලන අධිකාරියත් රාජ්‍ය නිලධාරීන් හා මහජනතාවත් නිසි වැටහීමක් හා අවබෝධයක් නොමැතිකම නිසා විවිධ මතිමතාන්තර හා විවේචන මතු කළත් කොළඹ නගරයට නොදෙවෙනි ආකාරයට ඓතිහාසික අනුරාධපුර නගරය සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා උතුරු මැද පළාත් සභා ශ‍්‍රවණාගාරයේ පැවති අනුරාධපුර නගර සංවර්ධනය හා නගර අලංකරණය පිළිබඳ සාකච්ඡාවට එක්වෙමිනි.
මේ වන විට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රුපියල් කෝටි ගණනක වියදමෙන් නගරය අලංකරණය කෙරෙමින් පවතී. කූඹිච්චන්කුලම වැව හා අවට ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතු මෙන්ම නගරයේ වට රවුම් 22ක් ද නවීකරණය වෙමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා අද දින දේශපාලන අධිකාරියත් උසස් රාජ්‍ය නිලධාරීන් හා නගරයේ ස්වේච්ඡා සමිති සංවිධාන නියෝජිතයන් මෙහි කැඳවා අනුරාධපුර නගර නිර්මාණය පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කළ බව සඳහන් කළේය.
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ශ‍්‍රී ලංකාවේ පළමු රාජධානිය මෙන්ම අග නගරය ද වූ අනුරාධපුරය 1957දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක රාජ්‍ය පාලන යුගයේදී ආසියාවේ සැලසුම් සහගතම නගර නිර්මාණය බවට පත්වූ බව පැවසීය. උතුම් ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් ප‍්‍රමුඛ අටමස්ථානය ද මිහින්තලේ තන්තිරිමලේ ප‍්‍රමුඛ ඓතිහාසික සිද්ධස්ථානයන් ද පිහිටි ඉපැරණි අනුරාධපුර රාජධානිය හා ඓතිහාසික අනුරාධපුර නගරය සංවර්ධනයට අනුරාධපුර නගරයේ දේශපාලන අධිකාරියත් උතුරු මැද පළාත් සභාව, මහ නගර සභාව, ප‍්‍රාදේශීය සභා රාජ්‍ය නිලධාරීන් හා නගරවාසීන්ගේ සහයෝගය ද අත්‍යවශ්‍ය බවත් අන්‍යෝන්‍ය අවබෝධය තුළින් පවතින ගැටලු හා ප‍්‍රශ්න විසඳා ගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ, පළාත් සභා අමාත්‍ය එච්.බී. සේමසිංහ, අනුරාධපුර මහ නගරාධිපති එච්.පී. සෝමදාස, පළාත් ප‍්‍රධාන ලේකම් එච්.එම්.ආර්.බී. හේරත්, ප‍්‍රධාන අමාත්‍යාංශ ලේකම් ආනන්ද කුලරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන, බි‍්‍රගේඩියර් අතුල ආරියරත්න, නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්‍ෂ සමන් දිසානායක, වාණිජ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් පී.බී. දිසානායක යන මහතුවරු මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

අනුරපුර කැණිම් කටයුතු

                       

මේ වන විටත් බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව නොමැති අනුරාධපුර පූජා නගරය ආසන්නයේම පිහිටි අතිශය නිහඬ නිසංසල වන අරණක් පිළිබඳව තතු හෙළිවේ.

අනුරාධපුර අභයගිරි විහාරය සහ සමාධි පිළිම වහන්සේ වැඳ පුදාගෙන කුට්ටම් ‍පොකුණ නැරඹීමට එන අයෙකුට ඒ අද්දරින් වැටී ගත් ගල් පාලම පාර හමුවෙනවා ඇති. ඒ ඔස්සේ තවත් කිලෝමීටර් දෙකක් පමණ ඉදිරියට යන විට හමුවන පෙරිමියම්කුලම නම් ගම්මානය තුළ මේම අසිරිමත් වන අරණ පිහිටා ඇත.

අනුරපුර යුගයේ විශිෂ්ටතම ත‍පෝවනයක් හෙවත් පබ්බත විහාරයකට අයිති අක්කර විසිතුනකින් යුත් මෙම වන අරණ හැඳින්වෙන්නේ පුරාණ විජයාරාමය නමින්. ගැඹුරු පරිණත වනාන්තර ලක්ෂණ සහිත මෙම වන උයන තුළ ක්‍රිස්තුවර්ෂ අටවන සියවසේදී පමණ පබ්බත විහාරයක් පිහිටා තිබූ බව එහි නටබුන් මගින් මනාව තහවුරු වී තිබේ. පබ්බත විහාර යනුවෙන් අදහස් කරන්නේ අනුරාධපුර ඇතුළු නුවර පිහිටි රාජ්‍ය සම්බන්ධතා සහිත නාගරික පන්සල්හෙවත් මහා විහාරවලට වඩා වෙනස් නගරයෙන් බැහැර කෘෂිකාර්මික ප්‍රදේශයන් හි ඉදි වූ අල්පේච්ජතාවයෙන් යුතු භික්ෂුන් වැඩ සිට ශ්‍රමණවාසස්ථානය.

වර්තමානයේ අපි භාවිතා කරන පන්සල යන්න පණ්ණ සාලායන පාලි වචනයෙන් සිංහලට බිඳී ආ වදනකි. මෙහි පණ්ණ සාලායන්නෙහි සිංහල අරුත අතුසෙවිලි කළ නිවහනයන්නවේ. භික්ෂූන් වහන්සේගේ ජීවන රටාව ඇඳුමෙන් සේම වාසස්ථානයෙනුත් ඉතා සරල චාම් මුහුණුවරක් ගත් බවට මේ පාලි පණ්ණ සාලායන සංකල්පයම ප්‍රබල නිදසුනක් විය.
අනුරාධපුර ඇතුළු නුවරින් බැහැර පිහිටි මෙම පැරණි පන්සල් පංචාවාස නමින් ද හැඳින්වුණු බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. සභා ශාලාව’, පිළිමගෙය, කුඩා ස්ථූපය, සැලසුම්සහගතව රෝපණය කර බෝධීන් වහන්සේ සහිත බෝධිඝරය, ලැගුම් ගෙය හෙවත් ආවාස ගෙය, දාන ශාලාව, ඡන්තාගරය හෙවත් උණු පැන්සල මේ පංචාවාසයන්නෙහි දක්නට ලැබෙන ‍පොදු ලක්ෂණ වේ. අනුරාධපුර ඇතුළු නුවරට පිටතින් පිහිටි ඉස්සරාරාමය හෙවත් වෙස්සගිරිය, තොළුවිල, ප්‍රාචීණතිස්ස පබ්බත, පුලියන්කුලම, පන්කුලියේ අශෝකාරාමය මතෛක් හඳුනා ගැනුණු අනුරපුර යුගයට අයත් පංචාවාස කීපයකි.
ඒ අතරින් මේසේ සඳහන් කරන විජයාරාමය පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් ධුරය හෙබවූ එච්.සී.පී. බෙල් සූරීන් 1890 දී පමණ කරන ලද ගවේෂණ වලින්
පසුව නැවතත් ගවේෂණ අරඹා ඇත්තේ මේ වසරේ ජනවාරි මස
එකොළොස්වෙනිදායි.
එදා මෙදා තුර අවුරුදු එකසිය විසිහතරක් මේ පරිශ්‍රය වශයෙන් වැසී ගොස් තිබේ. ඒකි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන්ගේ පූර්ණ අධීක්ෂණය සහ අනුමැතිය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සිදු කරන ගවේෂණ ව්‍යාපෘතියක් ලෙසිනි. මේ ව්‍යාපෘතියේ අධීක්ෂණ කටයුතු සිදු කරන්නේ මධ්‍යම සංස්කෘතික අරමුද‍ලේ ව්‍යාපෘති අධ්‍යක්ෂ (අනුරාධපුර) මහාචාර්ය ටී.ජී. කුලතුංගයන් විසිනි. රංජිත් ගොඩකුඹුර මහතා මෙම
ගවේෂණ කණ්ඩායමේ ප්‍රධානත්වයදරනු ලබයි. එමෙන්ම අනුරපුර යුගයට අයත් මෙම පැරණි පබ්බත විහාරය නූතන ලෝකයට හඳුන්වා දීමේ මේ උතුම් කාර්යය සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් සුවිසල් අනුග්‍රහයක් සපයා දී තිබේ. අනුරාධපුර නගරයේ සිට විජයාරාම ආරාමික නටබුන් සහිත මෙම වනපෙත දක්වා අධීක්ෂණ පුවරු ද සවි කොට ඇත්තේ සම්මේලනය මගින් ය.

රූස්ස ගහ කොළවලින් සමන්විත මේ නිසල වන පියස තුළ මේ වන විට අනුරාධපුර පබ්බත විහාරයකට අයත් ආරාමික ගොඩනැගිලි හතළිස් තුනක් සොයා ගෙන ඇත.

ඒ සියල්ල වසා ගනිමින් පැතිර ගත් තුරු උයන නිසා හාත්පස නිහැ¾ඩියාවක් සේම වටපිටාව අමුතුම සිසිලසකින් පිරී පවති. අඩුම තරමින් මෙම වන අරණට  රථවාහනයක සද්දයක්වත් ඇසෙන්නේ නැත. මේ නිසල වන අරණ තුළ සැඟව ගත් නටබුන් අතර මෙරට ආරාම  දුලබ ශිලා කර්මාන්ත රාශියක් අදත් නිරුපද්‍රිතව දක්නටලැබේ. නමුත් ඒවා අතරින් කොටසක් නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක් වී තිබිම කම්පාවට කරුණෙකි. ඒවා අතර නිදන් හොරුන් විසින් කැබලිවලට සිඳ බිඳ දැමූ බුද්ධ ප්‍රතිමා පවා දක්නට පුළුවනි.  
අතීතයේ මහා සංඝරත්නය බහුල වශයෙන් දක්නට ලැබුණු මේ පුරාවිද්‍යා පරිශ්‍රය තුළ අදත් දවල් කාලය තුළ පාත්‍රයක් කරින් එල්ලා ගත් බොරපැහැති සිවුරුවලින් යුත් භික්ෂුන්වහන්සේලාගේ රූප අද්භූත අයුරින් දර්ශනය වන බවට ගම්මුන් තුළකටකතා ද ලැතිර යයි . ඒ සම්බන්ධයෙන් එම පරිශ්‍රයේදී හමු වූ මුතුබණ්ඩා දසානායක මහතාගෙන් විමසා සිටිය දි පහත විස්තරය ඔහු විසින් පවසන ලදි .
ඔහොම කතාවක් මාත් අහලා තියනවා. ඒත් පුදුමවෙන්න කාරණය ඒක නෙවේ, ඔය ගැන කිසිම කිසි දෙයක් කලින් අහලා නොතිබුණු මෑත භාගයේ මේ සයිට් එකේ සේවයට ආපු නුවර පැත්තේ මිස් කෙනෙකුත් පසුගිය දවසක දහවල් එකොළයි තිහට විතර ඔය වගේ හාමුදුරු නමකගේ   දර්ශනයක් දැකලා තිබුණු එකයි. 
කෙසේ හෝ අනුරපුර වන්දනාවේ යන කෙනෙකුට හෝරා කිහිපයක විවේක සුවයක් අවශ්‍ය නම් ඒ  සඳහා යොදා ගත හැකි අනුරාධපුර පූජා නගරය ඇසුරේ ඇති විශිෂ්ටතම වන අරණ මෙය බව නිර්දේශකර හැක. දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිලධාරිනියන් පිරිසක් මෙහි සේවයේ යෙදී සිටින බැවින් මෙහි ආගමික සහ පුරාවිද්‍යාත්මක වැදගත්කම ඔවුන්ගෙන් දැන කියා ගැනිමට ඕනෑම අයෙකුට හැකිය. නමුත් මේ මෙම පරිශ්‍රය  තුළ ජල පහසුකම් හෝ වැසිකළි කැසිකිළි පහසුකම් නොමැති බවත් මෙහිදී සඳහන් කළ යුතුවේ. එමෙන්ම මෙම කලාපයට ආවේණික අළුහිස මුහුදු රාජාලියා, ඇලිකුස මාළු රාජාලියා, සර්ප උකුස්සා, නිල්පෙඳ බිඟුහරයා, බ්‍රාහ්මීය උකුස්සා ඇතුළු  කුරුළු වර්ග කීපයක් මෙහිදී නිරීක්ෂණය වුණු බව බෝහෝ දෙනා පවසති.
ඒ කෙසේ හෝ මෙම ජාතික ශාසනික සහ පාරිසරික උරුමය සහිත බිම් කඩට පැමිණෙන ඔබට මෙහි ඇති තණපියලි පිළිබඳව පවා සැලකිලිමත් හා අරපරිස්සම් සහගත වීම තමයි එහි බලධාරීන් ඔබෙන් අපේක්ෂා කරන එකම උපකාරය වනුයේ.


අනුරාධපුර ඇතුළුනුවර හා පුරාවිද්‍යා පර්යේෂණ


විවිධාකාර ගති ලක්ෂණ නිරූපණය කරන පුරාවිද්‍යා ක්ෂේත්‍ර දසදහස් ගණනකින් සමන්විත ශ්‍රී ලංකාවේ එම පුරාවිද්‍යා ස්ථාන අතුරින් බෙහෙවින් වැදගත් පුරාවිද්‍යා භූමියක් ලෙස පුරාවිද්‍යාඥයින් විසින් අනුරාධපුර ඇතුළු නගරය සලකනු ලබයි. අනුරාධපුර පැරණි නගරයේ මධ්‍යගත පිහිටුමක් දක්වමින් පිහිටා ඇති ඇතුළු නගරය හෙක්ටයාර 100ක පමණ භූමියක ව්‍යාප්ත ව ඇත.  අනුරාධපුර ඇතුළු නගරයේ උතුරු සීමාව අභයගිරි විහාර සංකීර්ණයෙන් ද දකුණු සීමාව මහාවිහාර සංකීර්ණයෙන් ද සීමා වී ඇත. ලංකාවේ පවතින පුරාවිද්‍යා භූමි අතුරින් ප්‍රාග් ඓතිහාසික, ප්‍රොටෝ ඓතිහාසික හා ඓතිහාසිත යන සෑම අවධියක් ම නිරූපණය කරන සංස්කෘතික පාංශු ස්තරණයක් අනුරාධපුර ඇතුළු නගරයේ හඳුනාගත හැකි වේ. එ මෙන් ම මෙම ස්තරය තුළ මෙම සෑම කාලයක් හරහා ම ලංකාවේ මිනිසා සංස්කෘතික වශයෙන් අත්කරගත් විකාශය මෙන් ම සංක්‍රාන්තිය සටහන් වී තිබීම පුරාවිද්‍යා ක්ෂේත්‍රයක් වශයෙන් මෙහි ඇති වැදගත්කම තීව්‍ර කරයි.

පුරාවිද්‍යාඥයින් අනාවරණය කරගෙන ඇති ආකාරයට අනුරාධුපුරය හා යම් අන්දමකින් හෝ සමාන සංස්කෘතික ස්තරණයක් සහිත වෙනත ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍ර වශයෙන් මන්නාරම - මාන්තායි පුරාවිද්‍යා ස්ථානය, යාපනය කඳුරුගොඩ හා දකුණුදිග ලංකාවේ තිස්සමහාරාම අකුරුගොඩ යන ස්ථාන හඳුනාගෙන ඇත.
1930 දශකයේ පමණ සිට අනුරාධපුර ඇතුළු නගරය ඉලක්ක කරගනිමින් පුරාවිද්‍යා අධ්‍යයන දියත් වී ඇති නමුත් වඩාත් විධිමත් අන්දමින් මෙහි අධ්‍යයන සිදුකිරීම 1969 දී ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතාගේ ප්‍රමුඛත්වයෙන් ආරම්භ විය. 1969 අනුරාධපුර ඇතුළු නගරයේ ගෙඩි ගේ ආසන්නයේ සිදුකළ පුරාවිද්‍යා කැනීම ලංකා පුරාවිද්‍යා වංශකතාව තුළ හැරවුම් අවස්ථාවක් නොමැති නම් ස්වර්ණමය අවස්ථාවක් වශයෙන් සටහන් වී ඇත. එයින් පසුව ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ උපදේශකත්වය යටතේ ම අනුරාධපුර ඇතුළු නගරයේ පුරාවිද්‍යා අධ්‍යයන ගණනාවක් හා පර්යේෂණ කැනීම් 14ක් දියත් වී ඇත. මෙම අධ්‍යයන සඳහා පසුව ආචාර්ය බ්‍රිජට් හා එෆ්. ආර්. ඕල්චින්, රොබින් කනිංහැම් වැනි ජාත්‍යන්තර පුරාවිද්‍යාඥයින් ද සම්බන්ධ වී ඇත. එම කැනීම් මගින් ලංකා ඉතිහාසයේ බෙහෙවින් වැදගත් අනාවරණය කිරීම් කිපයක් ම සිදුකිරීමට සමත් ඇත. ක්‍රිස්තු පූර්ව 6/7 සියවස් වල දී ලංකාවට සිදු වූ ආර්යය සංස්කෘතියේ ආගමනය, මූල ඓතිහාසික යුගයේ වර්ධනීය ම නාගරික ලක්ෂණ අනුරාධපුරයේ ක්‍රියාත්මක වූ බව (එ නම් මෙම කලාපයේ වූ වර්ධිත ම වෙළෙඳ නගර පහෙන් එකක් වූයේ අනුරාධපුරය වන අතර ඉන්දියාවේ උජ්ජෙයිනී නගරයට දකුණින් පිහිටි විශාල ම හා වර්ධනීය ම වෙළෙඳ නගරය අනුරාධපුරය විය.), බ්‍රාහ්මි අක්ෂර භාවිතය පිළිබඳ මුළු මහත් ආසියාවෙන්  ලැබෙන පැරණි ම සාධක හමු වීම වැනි ඒවා ඒ අතුරින් වඩා වැදගත් වේ.
ලංකාවේ මිනිසාගේ අතීතය පිළිබඳ කතාකිරීමේ දී හමුවන අතිශයෙන් ම වටිනා පුරාවිද්‍යා බිම්කඩක් වන අනුරාධපුර ඇතුළු නගරයේ මේ දක්වා සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ පිළිබඳ තොරතුරු සංග්‍රහ වී ඇති ප්‍රකාශන කීපයක් පහතින් දක්වා ඇත.

දැරණියගල, එස්. (1990), පුරාවිද්‍යා කැණීම් 1968-1990, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතිහාසය, ප්‍රධාන සංස්කාරක, එන්. විජේසේකර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ. 221-237

දැරණියගල, එස්. (2002) ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය - පරිසර විද්‍යාත්මක විලෝකනයක් : ශ‍්‍රී ලංකාවේ ආදිතම බ‍්‍රාහ්මී අක්‍ෂර අරභයා විකිරණ ප‍්‍රාමිතික කාලනීර්ණය ක‍්‍රි.පූ. 600-500, පරි. කේ. බී. ඒ. එඞ්මන්ඞ්, සද්ධාමංගල කරුණාරත්න අභිස්තව ග‍්‍රන්ථය, සංස්. එම්. ඩයස් හා කේ. බී. ඒ. එඞ්මන්ඞ්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකාව.  (37-48)
  අනුරපුර පුරාවිද්‍යා කැණිම්.

අනුරාධපුර ඡේතවනාරාම භූමියෙන් මෙතෙක්‌ අනුරාධපුරයෙන් හමු වී නොමැති ආකාරයේ ඉපැරැණි 'ස්‌වස්‌ථතා ක්‍රමවේද' (වැසිකිළි කැසිකිළි) පද්ධතියක්‌ හමු වී ඇත.

පොළොව පිහිටි මට්‌ටමේ සිට සෙන්ටි මීටර් හතළිහක (40 m) ගැඹුරින් මීටර් පහළොවක්‌ (15 m) දිග මැටි නළ මාර්ග පද්ධතියකින්ද එය සමන්විත බව මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ අනුරාධපුර ව්‍යාපෘති අධ්‍යක්‍ෂ මහාචාර්ය ටී. ජී. කුලතුංග මහතා පවසයි. මෙතෙක්‌ අනුරාධපුරයෙන් හමු වූ අංග සම්පූර්ණ සහ විශාලම වැසිකිළි කැසිකිළි පද්ධතිය මෙය බව ද කියයි. 


මීට පෙර අනුරාධපුරයේ කැණීම්වලදී මෙවැනි වැසිකිළි කැසිකිළි පද්ධති ස්‌ථාන දෙකකදී හමුවුවත් ඒවා වළවල් බව ද කියති. නමුත් මෙවර හමු වී ඇත්තේ නළ මාර්ග පද්ධතියක්‌ සහිතව බව ද කියති. එය සුවිශේෂී සේදුම් ගලකින් ද යුක්‌තය.

මේ පද්ධතිය ආශ්‍රිතව ආරක්‍ෂිත බැමි දෙකක්‌ බැඳ ඇති අතර, ඒ සඳහා ද මනාව සැකසූ ගඩොල් යොදා ඇති බව ද කියයි. නළ මාර්ගය සඳහා මැටියෙන් පදම් කර පිළිස්‌සූ නළ යොදා ඇති බව ද දක්‌නට ඇත. කෙසේ වෙතත් අවධීන් දෙකක තාක්‍ෂණය ද මේ සමඟ සොයාගෙන ඇති බව ද කියති.

ජේතවනාරාම ව්‍යාපෘති කළමනාකාර එච්. එම්. බී. හේරත්, කැණීම් භාර නිලධාරිනී ශ්‍යාමලී ගුණරත්න, පර්යේෂණ නිලධාරීන් වන තුෂාර සේනාරත්න, චන්දන විඡේසිංහ යන මහත්ම මහත්මීහු තවදුරටත් මෙහි කැණීම්වල නිරතව සිටිති.